BEST TREATMENTS FOR
නහර ගැට ගැසීම (Varicose veins )
බොහෝ විට මැදි වියේ සහ මහලු වියේදී යම් යම් හේතු මුල් කරගෙන දණහිසින් පහළ කරන කොටසේනහර සමෙන් ඉදිරියට නෙරා ඒමක් සිදු වන අතර ඒවා කල් යත්ම බොහෝ වේදනාකාරී වේ. මෙය නහර ගැට ගැසීම ( Varicose veins ) ලෙස හඳුන්වන අතර මෙය නොසලකා සිටීමෙන් පසු කාලයේදීය විවිධ අතුරු ආබාධ වලට ලක්වේ. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගම ලෙසර් තරංග මගින් මේ සඳහා ප්‍රතිකාර සිදු කෙරේ.
නහර ගැට ගැසීම නොහොත් වෙරිකෝස් වේන්ස් (Varicose veins ) යනු කුමක්ද ?
මෙය සුලභව පාද වල දක්නට ලැබෙන රෝගී තත්ත්වයකි. එහිදී පාදය සමට ආසන්න ඇති රුධිරවාහිනී වල අසාමාන්‍ය විශාලවීම හා දඟර ගැසීම සිදුවේ. ශිරා වල ඇති කපාට දුර්වල වීම මෙයට මූලික හේතුවයි. මෙම රෝගී තත්ත්වය නිසා විවිධ සංකූලතා මතුවිය හැකි බැවින් සුදුසු ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ.
මෙම රෝගී තත්ත්වයට හේතු මොනවාද ?
1. බොහෝ වේලාවක් සිටගෙන සිටීම
2. පවුලේ සාමාජිකයන්ට මෙම රෝගී තත්ත්වය තිබීම
3. කකුලේ ගැඹුරු නහරවල ලේ කැටි සිරවීම
4. ගර්භණීභාවය
5. උදරයේ අර්බුදකාරී ගෙඩි
6. ඇතුලත ශිරාවන් ගේ ලේ කැටි ගැසීම
7. සහජයෙන්ම ශිරාවල ඇතිවන විකෘතිතා
මේ නිසා ඇතිවන රෝග ලක්ෂණ මොනවාද ?
1. ගැට ගැසුණු නහර සමෙන් පිටතට නෙරා ඒම.
2. පාදයේ වේදනාව සහ කැසීම
3. පාද ඉදිමීම
4. නහර වලින් ලේ ගැලීම
5. වළලුකර අසල දුර්වර්ණ වීම හා සුව නොවන තුවාල ඇතිවීම
රෝග ලක්ෂණ හඳුනා ගැනීමට විශේෂ පරීක්ෂණ තිබේද ?
මේ සඳහා අල්ට්රා සවුන්ඩ් ( Ultra Sound ) පරික්ෂණ වර්ගයක් වන ඩුප්ලෙක්ස් ස්කෑන් (duplex scan) පරීක්ෂාවකින් රෝගය තහවුරු කරගත හැකිය. මෙහිදී පාදවල කුමන නහර වල රෝගය පවතින්නේ ද, ඇතුළත ගැඹුරු නහර වල ලේ කැටි සිරවීම පවතින්නේ ද යන්න පරීක්ෂා කෙරෙන අතර මෙමගින් රෝගියාට කිසිදු අතුරු ආබාධයක් විකිරණ ඇතුළු වීමක් සිදු නොවේ.
දැනට මේ සඳහා ඇති ප්‍රතිකාර මොනවා ද ?
ප්‍රතිකාර ක්‍රම හතරක් භාවිතයේ පවතී.
1. ඖෂධ මඟින් රෝගය පාලනය කිරීම
2. ස්ක්ලෙරෝ ප්‍රතිකාරය (sclerotherapy)
3. ලේසර් ප්‍රතිකාර
4. සැත්කම්
ස්ක්ලෙරෝ ප්‍රතිකාරය ප්‍රයෝජනවත් වන්නේ දණහිසේ පහළ ප්‍රදේශයේ ශිරා ගැටගැසීම් වලදී පමණි. බොහෝ විට රෝගීන් ස්ක්ලෙරෝ ප්‍රතිකාරයට හෝ සැත්කම් ප්‍රතිකාරයට කැමැත්තක් නොදක්වයි. කෙසේවෙතත් සැත්කම් ප්‍රතිකාරය දැනට තිබෙන හොඳම ප්‍රතිකාරයයි. මෙහිදී මුළු ශිරාවම ඉවත් කරනු ලබන නිසා නැවත රෝගය ඇති නොවේ. ඔබගේ වෛද්‍යවරයා විසින් අවශ්‍ය ප්‍රතිකාර ක්‍රමය තීරණය කරන්නේ රෝගීතත්වය අනුවය.
ලේසර් ප්‍රතිකාරයේ ඇති විශේෂ ලක්ෂණය නම් රෝගියා සිහිනැති නොකර හිරිවට්ටවා ප්‍රතිකාර සිදු කිරීමයි. ස්ථානීය නිර්වින්දන කරනවිට ඇතිවන සුළු තද කිරීම හැර මෙය සම්පූර්ණයෙන්ම වේදනා රහිත ප්‍රතිකාර විශේෂයකි.
නහර ගැට ගැසීම පළමුවැනි, දෙවැනි, තුන්වැනි හා හතරවැනි ආදි වශයෙන් වර්ග 4කින් යුක්ත වේ.
පළවෙනි හා දෙවෙනි අවස්ථාවන් බොහෝ විට උපද්‍රව රහිත වන අතර ඒවා තුන්වැනි හා හතරවැනි වර්ග තරම් දරුණු තත්ත්වයකට වර්ධනය නොවේ. විශේෂයෙන්ම ප්‍රතිකාර ආරම්භ කරන්නේ මෙහි තුන්වැනි හා හතරවැනි වර්ග වලට ය.
තුන්වැනි හා හතරවැනි වර්ගවලට අයත් රෝගීතත්වයේදී කේන්ද්‍රගත කිරණ විශේෂයක් වන ලේසර් (LASER ) ප්‍රතිකාරයේදි ස්ථානීය නිර්වින්දනය කිරීමෙන් අනතුරුව නූලක් වැනි තන්තුවක් ඉඳිකටුවක් ඔස්සේ ශිරාවට ඇතුල් කරනු ලැබේ.
ඉන්පසු ශිරාවේ ඇතුළත ස්තරය ලෙසර් උපයෝගී කරගෙන පුළුස්සනු ලැබේ. මෙම ක්‍රියාවලියෙන් පසු රෝගියා දිග මේස් කකුලක් (Stocking ) දින පහක් පමණ පැළඳ සිටීම පමණක් අවශ්‍යවේ.
නිල් පැහැති ශිරා සහිත පළවෙනි වර්ගයේ නහර ගැට ගැසීමට ඇති විකල්පය නම් මතුපිට ලේසර් ප්‍රතිකාරය. මෙහිදී බලපා ඇති ප්‍රදේශයට ආලෝක කදම්භයක් එල්ලකරනු ලැබේ. මෙමඟින් ඇතිවන තාපය නිසා ශිරාව වැසීමට සලස්වයි.
දෙවැනි වර්ගය සඳහා මුලින් ස්ථානය නිර්වින්දනය කර මිලිමීටර් එකක් පමණ වන සුළු කැපුමක් ඇතිකර බලපා ඇති ශිරා ඉවත් කරනු ලැබේ. නහර ගැට ගැසීම ප්‍රතිකාරය සඳහා රෝහලේ නතර වී සිටීම අවශ්‍ය නොකරන එක්දින ප්‍රතිකාරය විශේෂයකි. එහිදී කැපුම් සිදු නොකරන හෙයින් ආසාදන පිළිබඳ බිය විය යුතු නැත. ලේසර් ප්‍රතිකාරය සැත්කම් ප්‍රතිකාරය සමග බැලීමේදී සැත්කම් සඳහා රාත්‍රියක් රෝහලේ නතරවීමට අවශ්‍ය කෙරේ.
මෙම රෝගී තත්ත්වය වලක්වා ගන්නේ කෙසේද ?
1. බොහෝ වේලාවක් සිටගෙන සිටීමෙන් වැලකීම
2. සිටගෙන සිටින විට විශේෂ දිග මේස් (Stockings ) පැළඳීම.
නහර ගැට ගැසීම පිළිබඳව ඇති මිත්‍යා මත මොනවාද ?
මෙම සැත්කම පිළිබදව අප රටේ ජනයා තුළ වැරදි මත රාශියක් තිබේ. ඒ අතර කකුල් කොට වේයැයි සමහරුන් අතර අනියත බියක් පවතියි. පසු කාලීනව හදවත් සැත්කමක් සිදු කිරීමට සිදු වුවහොත් පාදයේ මේ ශිරාව සැත්කම මගින් තමාට අහිමි වේ යැයි සමහරු තුළ බියක් පවතී. කෙසේවෙතත් ගැට ගැසුණු රෝගී ශිරාවක් කිසිසේත්ම බයිපාස් (Bypass) සැත්කමකට සුදුසු නොවේ.
මුල් අවධියේ සරල ප්‍රතිකාර මගින් ගිරා ගැට ගැසීම නිසා හටගන්නා සංකූලතා වළක්වා ගැනීමට හෝ සුව කරගැනීමට හැකි බව අප සිහි තබාගත යුතුය.
මෙම නවීන ක්‍රම මඟින් රෝගියාට ඇතිවන සංකූලතා අවම කළ හැකි අතර රෝගියා ඉක්මනින් සුවය ලබයි. විශාල කැපුම් සිදු නොකරන අතර මෙවැනි ක්‍රම මගින් වේදනාව වැනි අතුරු ප්‍රතිඵල අවම කැරෙන අතර එදිනෙදා කටයුතුවලට ඉක්මනින්ම නැවත පිවිසීමේ අවස්ථාව ලැබේ. එහෙත් මෙම ක්‍රම සඳහා නවීන පහසුකම් ඇති රෝහලක් සහ පළපුරුදු කාර්ය මණ්ඩලයක් සිටිය යුතුවේ.